නවතම පුවත්

New job opportunities for Sri Lankans in Japan

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවර කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අද දින (2025.01.08) කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.ජපානයේ වැඩිහිටි ජනගහණය ඉහළ යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.

 

මෙහිදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම හා ඉදිරියේදී නව රැකියා ක්ෂේත්‍ර විවර කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව ජපානයට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හරහා ලංකාව පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදීම මගින්, ශ්‍රී ලංකාවට ජපානයෙන් ආර්ථික, සංචාරක, රැකියා ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගය පුළුල් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. මේ අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ ඉදිකිරීම්, නිශ්පාදන, ගොඩනැගිලි පිරිසිඳු කිරීම් කළමනාකරණ හා කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා හිමිවූ 25 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා කාණ්ඩය යටතේ (SSW) සාත්තුසේවා හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියා හිමිවූ 8 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද අද දින කාර්යාංශයේදී සිදුවිය. මෙම අවස්ථාවටද ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ද සහභාගි විය.

 

අද දින ගුවන් ටිකට්පත් ප්‍රදානය කළ මෙම පිරිස 2025.01.09 දින ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනොඋඑ මහතා (Mr. Inoue), IM Japan ආයතනයේ සාමාන්‍යාධිකාරී තමුරා මහතා (Mr. Thamura) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරුන් එක්වී සිටියහ.

01/09/2025
01/09/2025
SI