නවතම පුවත්

රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි

SLBFE MEDIA | 03.02.2025 රුමේනියාවේ රැකියා ලබාගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.28 දින කාර්යාංශයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් පමණ සහභාගි විය. දැනට රැමේනියා රැකියා සඳහා ලියාපදිංචි රැකියා නියෝජිතායතන 235ක් පමණ කටයුතු කරයි.

රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයන් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශයට දැනුම්දීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් මෙහි දි සිදුකරන ලදී.

එම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරියේදී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවෙතැයි කාර්යාංශය විශ්වාසය පළකරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා වීසා අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට කාර්යාංශ සාමාන්‍යාධිකාරි ඩී.ඩි.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන අනුර ලියන්වල, පී.පී.වීරසේකර, සෙනරත් යාපා යන මහත්වරුන්ද, ශ්‍රි ලංකාවේ රුමේනියානු තානාපති කාර්යාලයේ අන්තර් වාර භාරකරු මිහෙලා ඇන්ජෙලා රුටෙන්ස් මහත්මිය (Mrs. Mihaela-Angela Rutjens) හා රුමේනියානු තානාපති කාර්යාලයේ කන්සියුලර් ඇන්ඩ්‍රියා රලුකා ෆිලිප් මෙනවිය (Ms. Andrada-Raluca Filip) යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්විය.

SI