දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇත. E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නොමැත.
ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාවක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී වේ.
එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු ලැබේ. E-8 වීසා කාණ්ඩය යටතේ කිසිදු පුද්ගලික රැකියා නියෝජිත ආයතනයකට ක්‍රියාත්මක වීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ද ලබා දී නොමැත.
E-8 වීසා යටතේ දකුනු කොරියාවේ රැකියා සදහා විදේශ ගත වීමේ උවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රීලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශගත විය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබල දීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටී.
එනිසා ඔබගේ විදේශගත වීමේ සිහිනය වංචකරුවන් ට හසුවී බොඳකර නොගන්නා ලෙස සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටී.