නවතම පුවත්

පසුගිය පාලනය නිසා ජනතාව අපහසුතාවයට පත්වුණා බොහෝ පිරිසක් රට හැරගියා…

පසුගිය සමයේ පැවති අර්බුදකාරී තත්වය හමුවේ හිටපු මැති ඇමතිවරුන්ගේ විවිධ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයන්ට ලක්වු බවත්, ඒ හේතුවෙන් බොහෝ පිරිස් විදේශ රැකියා සදහා යොමු වීමක් දක්නට ලැබුණු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ (Employment Permit system EPS) දකුණු කොරියාවේ සදහා පිටත්ව යන 900 වෙනි කණ්ඩායම අමතමිනි.

එය අද (2025.2.18 ) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේ දි පැවැත්විනි. 2004 සිට 2024 දක්වා රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු රැකියා සදහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර 2025 වසරේ ජනවාරි සිට අද දක්වා රැකියාලාභීන් 710 ක් පිටත්ව ගොස් ඇත.

මෙහි දි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ කොරියාවේ රැකියා සදහා ගොස් එරටදී ලබාගත් දැනුම හා පලපුරුද්ද නැවත ලංකාවට පැමිණ, එම දැනුම සහ හැකියාවෙන් තම රටේ දියුණුව වෙනුවෙන් යොදන ලෙසටයි. එලෙස පැමිණෙන පිරිසට අවැසි පරිදි රැකියා අවස්ථාවන් හා පහසුකම් ලංකාව තුළදී ලබා දීමට ද රජය කටයුතු කරන බව ද ඔහු සදහන් කළේය. එමෙන්ම විදේශ රැකියා සදහා පිටත්ව යන පිරිස රැවටීම් සහ මුදල් වංචාවන්ට ද හසුවන බවත් එලෙස වංචාවන්ට හසු නොවී නීත්‍යානුකූල ලෙස රැකියා සදහා පිටත්ව යා යුතු බවත්, බහුතරයක් කොරියානු විදේශ රැකියා සදහා පිටත්ව යන්නේ තරුණ පිරිස බවත් ප්‍රකාශ කළේය. රට ඉදිරියට ගෙන යාමට අත්වැල් බැදගන්නා ලෙසටද අරුන් හේමචන්ද්‍ර මහතා රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

“අර්බුදකාරී තත්වය තුළ අප සියලු දෙනාටම තෙල් පෝලිම්, ගෑස් පෝලීම් ගැන මහත් සේ අත්දැකීම් ඇත. එම තත්වයන් හමුවේ එය මැඩපවත්වා ගනු ලැබුවේ අප රටට ලැබෙන විදේශ විනිමය මතයි. රටේ ආර්ථිකයට විදේශ විනිමය මහත් සේ අවශ්‍ය වන අතර විදේශ රැකියා සිදු කර ලංකාවට ලැබෙන විදේශ විනිමය මගින් රටේ ආර්ථිකය වර්ධනය කිරීමට හැකි වේ. මේ හේතූන් සියල්ලම පාදක කරගනිමින් රැකියා සුරක්ෂිතතාවය මත නීත්‍යානුකූල ලෙස රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා” යනුවෙන්ද විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව රැකියාලාභීන් 64 දෙනෙකු කොරියාව බලා පිටත් විය. මෙලෙස රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියානු රැකියා සදහා පිටත්ව යන රැකියාලාභීන් පරිඝණක ආශ්‍රිත විභාගයට මුහුණ දිය යුතු අතර කොරියානු භාෂාව පිළිබදවද මනා අවබෝධයක් පැවතීම ද අනිවාර්ය වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියේය.

SI