ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබේ.
විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුකම් පදනම් කරගනිමින් අධ්‍යාපනය ලැබිමට පහසුවක් ලබාදීමේ අරමුණින් මෙම සුබසාධන ක්‍රියාමාර්ගය දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි.මෙම පාසල් උපකරණ ලබාදීම සම්බන්ධව ඇතැම් සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් තිබෙන බැවින් ඒ සම්බන්ධව පැහැදිලි කිරීම පහතින් දැක්වේ. එම සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් මෙ වනවිට විශාල පිරිසක් අපහසුතාවයට ලක්වි ඇති බවට වාර්ථා වි තිබේ.
පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවල නිරතවන හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පමණි. ඒ අනුව එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ කට්ටලයක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය මගින් නිකුත් කරනු ලබයි. මේ සදහා අයදුම්පත් හා විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.
මෙම පාසල් උපකරණ ලබා දීම ක්‍රම 02ක් ඔස්සේ සිදු කරනු ලබන අතර දැනට විදේශගතව සිටින දෙමාපියන්ගේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන දරුවන් සදහා මෙන්ම විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ දෙමාපියන්ගේ දරුවන් සදහාද පාසල් උපකරණ ලබාගැනීම සදහා රු.10,000ක් වටිනා පාසල් උපකරණ ලබා දිම සිදු කරනු ලබයි. කාර්යාංශයේ සුබ සාධන අංශය හා ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා ලබා දෙන පාසල් උපකරණ ලබාගැනීමට විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික වල සහතික කළ ඡායා පිටපත්, දරුවන් ඉගෙනුම ලබන පාසැල් වල පන්තිභාර ගුරුවරයා හා විදුහල්පතිගේ නිර්දේශය සහිත අවශ්‍ය පාසැල් උපකරණ ලැයිස්තුවක් (රු.10,000.00ක උපරිමයකට යටත්ව), පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් (ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව), මව/ පියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වූ බව තහවුරු කිරීමේ ලේඛන (ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී වෙත ඉදිරිපත් කල යුතුය.
දෙවන වැඩසටහන අනුව, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට යලි දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.මෙහිදී එක් දරුවකුට රු.10,000ක් වටිනා පාසල් උපකරණ ලබාගතහැකි පාසල් උපකරණ පිරිනමනු ලබන අතර, ඒ සදහා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරිවරයාගෙන් අයදුම්පත් ලබාගත යුතුය. පෙරපාසල්, පිරිවෙන් හා ආගමික පාසල් ඇතුළු රජයේ හා පෞද්ගලික පාසල්වල දරුවන් සදහා මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි විගමනික ශ්‍රමිකයන්ගේ දුදරුවන්ට පාසල් උපකරණ ලබා ගත හැකිය.
2024 වර්ෂයේ දි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියාවල නිරතව සියට යලි පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ තෝරාගනු ලැබූ පාසල් යන දූ දරුවන් 1,185 දෙනෙකු වෙත කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය මගින් පාසල් උපකරණ ලබා දී ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 11.33 කි.
මේ අතර 2024 වර්ෂයේ දී විදේශ රැකියාවල නියුක්තව සිටින ශ්‍රමිකයින්ගේ පාසල් යන දූ දරුවන් 12781 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 121 ක පාසල් උපකරණ කාර්යාංශයේ සුබසාධන අංශය මගින් පිරිනමා තිබේ.
පාසල් උපකරණ ලබා ගැනිම සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් සිදුකරන අසත්‍ය තොරතුරු වලට නොරැවටී නිවැරැදි ක්‍රමය යටතේ අයදුම් කර මෙම අවස්ථාව ලබා ගන්නා මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමනික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
එසේම පාසල් උපකරණ ලබා ගැනීමට අදාල කාර්යාංශය විසින් නිකුත් කර ඇති අයදුම් පත්‍රය ඇතැම් පොත් වෙළදසැල් වල අලවි කරන බවට වාර්ථා වන අතර එම අයදුම් පත්‍ර කිසිසේත්ම අලවි කිරිමට නොහැකි බවද කාර්යාංශය අවධාරනය කරයි.